Thursday, August 15, 2019

වැඩ

මිනිස්සු වැඩ කරන්නේ නොකර බැරිකමටය. කරන්න දෙයක් නැති කමටය.

    ආසාවෙන් වැඩ කරන මිනිස්සු මම එහෙමට දැකලා නැත. තමුන් කරන දේ ගැන ආසාවකුත්, ඒක රස්සාවක් කරගන්නත් පුළුවන් විදියේ වැඩ තියෙනවා කියා මිනිස්සු කියති. ඒත් කිසිම දෙයක් නොකර නිකම් ඉන්නවාට වඩා ඒක හොඳ කොහොමදැයි මට තේරෙන්නේ නැත.

    සමහර මිනිස්සු වැඩක් නොකර නිකං ඉන්නවාට වඩා වැඩක් කරන එක හොඳ යැයි කියති. මට ඒ මිනිස්සු නොතේරේ. ඒ මිනිස්සුන්ගේ මානසික තත්වය වටහා ගන්න පටන් ගන්න හැටිවත් මට නොතේරේ. එහෙම දෙයක් වටහා ගැනීමද වැඩකි. මට එච්චර දෙයක්වත් කරන්නට උවමනාවක් නැත. එහෙම එකේ ඒ මිනිස්සු කොහොම ආසාවෙන් වැඩ කරනවාද යන්න මට තේරෙන්නේම නැත.

    වැඩ කරන්නේ සල්ලි හම්බ කරන්නය. ඒක මට තේරුම් ගත හැක. මම වැඩ කරන්නේත් ඒ නිසාය. සල්ලි නැතුව නිකං ඉන්න අමාරුය. නිකං හිටියා කියා නොකා නොබී හිටිය නොහැක. නිකං ඉන්න ගමන් තව කරන්න දේවල්ද තිබේ. එක එක ජාති ඕනය. නිකං ඉන්නකොට ඕන වෙන ජාතිද වැඩිය. ඒ නිසා මූලික අවශ්‍යතා නැතුව බැරිය.

    ඒත් මූලික අවශ්‍යතා සපිරෙද්දීත් වැඩ කරන්නට ඕන මිනිස්සු සිටිති. මම අසා ඇති හැටියට එහෙම මිනිස්සු සිටිති. නිකං ඉන්නවාට වඩා වැඩක් කිරීමට ඒ මිනිස්සු කැමති යැයි කියති. ඒ ඇයි කියා මට නොතේරේ.

    සමහරවිට ඒ මිනිස්සුන්ට මොකක් හරි වැඩක් තිබ්බා නං ඒ ප්‍රමාණවත් වන්නට පුළුවන. එහෙම නං තමුන්ට කැමති දෙයක් විනෝදාංශයක් විදියට කරගෙන ඉන්නට පුළුවන. ඒකද  වැඩකි. ඒත් රස්සාවක් නොවේය. සමහර මිනිස්සුන්ට එහෙම විනෝදාංශයක් කරගෙන ඉන්නට මනස වෙනස් කරගන්නට හැකිය. එහෙම මිනිස්සුද සිටිති. ඒත් සමහර මිනිස්සුන්ට එහෙම දෙයක් හොයාගැනීම අමාරුය. එහෙම මිනිස්සුන්ට තමුන් මහන්සිවී කැමති දෙයක් හොයාගන්නවාට වඩා හැමදාම කරන දේ කරගෙන ඉන්න එක පහසුය. එකම රටාවකට හුරු වී ඇති ජීවිතයක් වෙනස් කරන්නට දරන්නට වෙන මහන්සිය සුළුපටු නොවේ. එහෙම කරන්නට හිතන්නට ඕනය. හිතනවාට වඩා හැමදාම කරන එක කරගෙන යන එක පහසුය. ඒ නිසා වැඩ කිරීමත් එකමත් එක ගැලවිජ්ජාවකි.

    නිකං ඉන්නටද පුරුදු විය යුතුය. ඒකද ලේසි නැත. හොඳ නිකමෙක් වෙන්නටද ටිකක් මහන්සි විය යුතුය. නිකං ඉඳීම ප්‍රගුණ කළ යුතුය.

    දැන් බලද්දී මේක ලිව්වාට වඩා නිකං හිටියා නං හොඳය. මම තව මහන්සි විය යුතුය. නිකම්ම නිකං ඉඳ නිකමෙක් වෙන්නට බැරි බව මට වැටහුණේ දැන්ය.

Wednesday, August 14, 2019

මේක එහෙම ලියන්න පුළුවන් බ්ලොගයක් නෙවේය. හදිස්සියට අවුරුද්දට තුන හතරක් ලිය ලිය කරන්න ඇහැක් වැඩකුත් නෙවේය. 

මේක ජීවිත කාලයක් පුරාවට ලියන්නට වෙන එකක්ය.

Wednesday, October 26, 2016

ලියන්නෙකුගේ අතීතය. කියවන්නෙකුගේ වැළපීම.

මොකද්දෝ උත්ප්‍රාසයකින් අමුතුම උනන්දුවක් එක්ක ලියන්නට පටන් ගැනීමකුත්,
මහා බරසාර කරල නොලිවීම සහේතුක කරන්නට දරාපු නිරර්ථක වෑයමකුත්,
යම්තාක් දුරකට හරි සාධාරණීකරණය කරන්න මම දවසක් තිස්සේ සෑහෙන ගේමක් දුන්න.

ලියන්නට නං නිමිත්තක් තියෙන්නට ඕන.
මගේ ජීවිතේ ඒ නිමිත්ත මට හුඟක් වෙලාවට ලැබුණේ විරහවත් එක්ක.
එහෙමත් නැත්නං පිස්සෙකුත් මාත් අතර තියෙන ඉර.,
බොඳ වෙලා තුනී වෙන තරමට.

ගතවුණු කාලෙ අත්දැකීම් ගොන්නට,
 විරහවත්,
 බොඳවුණු සංකල්පනාත්,
කොච්චර එකතු වුණත්,
 ඒ වේදනාවන්වත්,
 ඒ හිතුවිල්ලක්වත්,
වචන වලට පෙරලගන්න මට පුළුවන් කමක් තිබුණේ නෑ.

මං මට අකැප වී තිබුණ, මගෙන් ඈත් වී තිබුණ පරණ පුරුද්දක් මට මතක් වුණේ එතකොටයි.
කියවීම.
හොඳ පොතක් කියවන්නට ලැබෙන්නේ නැතිකොට,
හොඳ වචන මගේ ඔළුවේ පෙරලෙන්නේ නැතිකොට,
මං කොහෙන් මගේ හිතුවිලි වචන වලට පෙරලන්නද.

යමක් විග්‍රහ කරන්නත්, තවත් යමක විචාරයකටත්, නව කතාවක පදපේළි ගලපන්නටත්, සරල නිසදැසකට අකුරු කරන්නටත්,
මම යමක් කියවීමෙන්, යමක් දැනගැනීමෙන්, සම්පූර්ණ වෙන්න ඕන.
මට මගහැරුණු තැන එතන.

හොඳ පොතක් හොයාගැනිල්ල ලේසි නෑ මේ ජීවිතේ.
හොඳ පොතක් වගේම මාව පෝෂණය කරපු අපේම උන්ගේ බ්ලොග් එකක් දෙකක් කියවන්නය කියල පරණ යොමුසටහන් කීපයක් හොයාගෙන එකින් එකට ගිහින් බැලුවේ අද.
කිසිම ලිපියක් නැති ගානයි. කිසිම දෙයක්.
දේශපාලනයත් පරිඝණකයත් ගැන අරුණුකොට
හිතුවිල්ලක්, කතාවක් කියවන්න මං රහ කරලා තියං හිටි බ්ලොග් ඔහේ වල් වැදිලා ගිහිල්ල.

හුඟක් ඒවා අතැරලාම දාල.
එහෙමත් එකක අවුරුද්දකටම ලිපියක් දෙකක් ඇති.

අපි අපේ ජීවිත එක්ක එච්චරටම විඩාවට පත්වෙලා ගිහින්ද?
Is this what happened when you become an adult?
Is this how you do adultness?

හැමදාම ලිපියක් වැටෙනකන් බලා ඉඳල කියවන්න බ්ලොග් තිබුණ කාලෙ,
සතියක් හමාරක් හරි දඟලල කෙටුම්පතක් ලිපියක් කරල එළියට දාපු කාලෙ,
ඒ ලිපියේ කොමෙන්ටුවක් කොමෙන්ටුවක් ගානේ ආයේ ආයේ කියවපු කාලෙ,
විචාරයක විග්‍රහයක විතරක් නෙවෙයි මඩ ගහපු එකක වුණත් කොමෙන්ටු සීයක් හමාරක් තිබුණ කාලෙ,

මට ඒ අතීතය ආයේ ඕන.

Tuesday, October 25, 2016

වසන්තයකට පස්සේ ලියන්න හිතා හිටි මට.,
තුන හතරකට වඩා පහුවුණු සරත් සෘතුවක හරි මේ දිහා ගොඩ වෙන්නට හිතුණු එකම මදෑ.

අනාදිමත් කාලෙකදි මගේ ජීවිතේ,
දෙදරුම් කන කුණාටුවකටත්
පැද්දෙන පොඩි හුළඟකටත්
දුවගෙන ඇවිත් සටහනක් තියල යන්න පුරුදු වෙලා හිටි
මේ බ්ලොග් එක...
වල් බිහිවෙලා තියෙන හැටි දැන්.

හැමදාමත් වගේ ආයෙත් කියන්නම්.
ආයෙත් ලියන්නම් කියල.
පිළිලයක් වගේ හිතට වදින ඇනෝ කොමෙන්ටුව දිහාත් බලං ඉඳල ඇවිල්ල,
ආයෙත් කියන්නම්.
ආයෙත් ලියන්නම් කියල.


හැමදාම වගේ ඔහොම කියෙව්වට ආයෙමත් සුපුරුදු පරිදි ලියන්න කියල ඔළුව හදාගන්න පුළුවන් වුණොත් ඒකම දෙයක් නේ. කොච්චර කරත් ඔච්චර තමයි.
ලියන්නටම කියල උනන්දුවක් ඇති වීමේත්, අහලකටවත් එන්න නොහිතීමෙත්,
අන්තය තීරණය වීමේ සාධකයේ නං තවමත් වෙනසක් වෙලා නැති තරං මගේ.
කම්මැලිකම!

ලියන එක නැවැත්තුවේ ඇයි කියල හිතන්න ගියොත් මගේ පාපකාරී ආත්මයට මම තවත් දොස් පවරන එක මිසක් වෙන වෙනසක් මගේ ඇතුලාන්තයේ ඇති වෙලා මම වෙනස් වෙයි කියල හිතන්නත් අමාරුයි නෙහ්. ඉතිං තේරුමක් නැති වැඩක්. 
මගේ ලිවිල්ලෙන්, මං කුරුටු ගාන දේකින්, කොහේ හරි ගෙවෙන ජීවිතයකට කියවීමේ තෘප්තියක් ලැබෙන්නට ඉඩක් තියෙනවා යැයි කියල යම්කිසි දවසක මගේ හිතේ තිබුණු මිත්‍යාදෘෂ්ථියෙන් තවදුරටත් මම නොපෙළෙන නිසාත්, 
වැඩි හරියක් ලියන්නේ අත්‍යන්තයෙන්ම විඥානික මට්ටමේ, පරිපූර්ණ සිතුවිල්ලක් බවට පත්නොවුණු හෝ භෞතිකමය වශයෙන් පැහැදිලි කර නොහැකි දේ නිසාත්,
නොලිව්වාය කියා කාටවත් පාඩුවක් නැත.

ඒත් හිත ඇතුලෙ පොදි ගැහෙන හිතුවිලි, එයින් එපිටට, මායිමකින් එහාට තල්ලු කරල දාන්න ඕන වුණාම.,
නොදනිම්.

ආයෙත් ලියන්නම්.

Sunday, February 2, 2014

හැම වසන්තයකම., එකම එක මලක් පිපෙනවා වසන්තය පටන් ගනිද්දිම., ඉවර වෙනකන් පර නොවෙන.
ඒත් හැම වසන්තයකම., ඒ මල පර වෙලා., මම ඇහැරෙද්දි.

කිසිම දෙයක් නොලියපු අවුරුද්දක් ගෙවිල ගිහිල්ල. තව එකක්. ඉස්සරහට එන්න තියන ඒවා වගේ තවත් එකක්.

Monday, December 3, 2012

පිළිතුරය ඔබ මගේ, පැනය අමතකය දැන් ...!


(සිංදුවක් ලියල දීපං ලියල දීපං කියල මූ මට කරදර කරන්නෙ අනාදිමත් කාලයක ඉඳං. නිමිත්තක් නැතෙයි කිය කිය මග ඇර ඇර ඉඳල ඊයේ මහ රෑ ජාමේ මේ පදවැල් මගෙ අතින් ලියවෙන්නේ හරි පුදුම විදියට.
නිදියන්නටම ඇඳට වෙලා ඉඳිද්දී මත්වුණු හිත තවත් මත් වෙන්නටම අරක්කු ඉල්ලල කෑගහන හඬ හිස් බඩ ඇතුලෙ දෝංකාර දෙද්දී., හිතට ආපු පදවැල් ඇඳේ ඉඳගෙනම අතට අහුවුන කොළ කෑල්ලක ෆෝන් කට්ටෙ එළියෙන්ම ලියල දැම්මේ එ‍ක හුස්මට.)
ජූලි 10,2012

ගැටෙනා අයිස් කැට මදින් මද දියවෙනා
එළෙසින්ම ඔබ මගේ මතකයෙන් බොඳ වෙනා
ජීවිතය වීදුරුව තුළින් පිළිබිඹු වෙනා
පිළිතුරය ඔබ මගේ පැනය අමතකය දැන්

කූඩුවක හිර කෙරුණු තටු සිඳුණු හිත මගේ
යදම් බිඳ ඉගිලෙන්න වරම් දෙන්නට හිතට
අඩ සිඳුණු බෝතලය නිදහසේ මාවතේ
යතුර ඔබ විවර කෙරුමට අගුලුළු මසිත

ගැටෙනා අයිස් කැට//

ආදරේ විරහවේ පැහැය කළු සුදු වුනා
ඉකිබිඳින හඬන හිත අඳුරේ ගිලී
ඉරිතැළුණු හදවතේ පවසකට තෙතමනය
පිනි සිසිල ඔබ හිතට ඇයව අමතකය මට

ගැටෙනා අයිස් කැට//

Friday, July 20, 2012

ආගම හා පරිණාමනය ( අන්තිම පරිච්ඡේදය |:. )


හෝමෝ සේපියන්ස් සේපියන්ස් නම් වූ ක්ෂීරපායීයා මනුෂ්‍යයෙකු කරන්නට ආගමෙන් සිදුවූ මෙහෙය අති උත්කෘෂ්ටය. පිළිගනිමි. ගරු කරමි. ආගම නොවන්නට ඒ ක්ෂීරපායීයා මනුෂ්‍යයෙකු වන්නට තවත් බිලියනයක් වූ කලක් ගත වනු ඇත. අනේක සංඛ්‍යාත වූ ශිෂ්ඨාචාර ගණනකින් හැඩගස්වා අද ඉන්නා අපි; නූතන මනුෂ්‍යයා බිහි කරන්නට හේතු පාදක වූයේ ආගම යැයි ඔබ පවසන්නේද, එයටද එකඟ වෙම්. සමාජීය හා මානසික වශයෙන් පමණක් නොව, කායික වශයෙන් උවද මනුෂ්‍යයා හැඩගස්වන්නට ආගම මූලික විය. සංස්කෘතිය බිහි වූයේද ආගම හරහාම විය.
සරලාර්ථයෙන්, ආගමම පදනම විය.

නමුත් කතාව ඒ ගැන නොවේ. මනුෂ්‍යයා පරිණාමය විය. වෙයි. වෙමින් පවතී. හෝමෝ සේපියන්ස් සේපියන්ස් වූයේද පරිණාමය වීය. එතැන් ඉඳ තවමත් පරිණාමය වෙමින් ඉඳිමු. අවසානයට ළඟාවී නැති සෙයකි. මේ පරිණාමන රේඛාවේ හෝමෝ සේපියන්ස් සේපියන්ස් විසින් පසු කළ සැතපුම් කණු බොහෝය. ඒවා පසු කරන්නට උදව් කරගත් සංකල්ප ද බොහෝය. ආගමද එයින්  එක්  සංකල්පයකි. ශිෂ්ඨාචාර ගත නොවූ නොදියුණු යැයි හඳුන්වන ආදි මානවයා, ශිෂ්ඨාචාර ගත කරන්නටද, දියුණු කරන්නට, මනසෙන් උසස් කරන්නටද ආගම නැමැති සංකල්පය බිහි විය. උදව් විය. ඒ සංකල්පය ඔස්සේ මනුෂ්‍යයා පරිණාමන රේඛාවේ සැතපුම් කණු ප්‍රකෝටි ගණනක් පසු කරන්නට සමත් විය.
ඒ සංකල්ප යාත්‍රාව ආගමම විය.

ආගම නැමැති සංකල්පයේ හරය කුමක්දැයි විමසන්නේ නම් 'මනුෂ්‍යයා යහපත් කිරීම' යන වාක්‍ය ඛණ්ඩය සෑහේ ඕනෑම ආගමකටම. ආගම නැමැති සංකල්පය තුළින් කෙරෙන වෑයම එයය. එය සඵල වූ කළ ඒ සංකල්පය කල් ඉකුත් වේ. මනුෂ්‍යයාට පරිණාමනය වෙන්නට රුකුල් දුන් තවත් එක් සංකල්පයක් පමණක්ම වෙයි. ඒ සැතපුම් කණුව ඉක්මවූ කළ ආගමද, ඉදිරියට ප්‍රගුණ කරගෙන යාමෙන් පලක් නැති තවත් එක් හණමිටි සංකල්පයක්, අදහසක්ම පමණකි. එකලට ඒ සංකල්පය බිමින් තබා පරිණාමනයේ ඉදිරියට යා යුතුය. කිමද යත් ගොඩට ආ කල බෝට්ටුව කරපින්නා ගෙන යාමෙන් පලක් නැත.

ඒත්, තාමත් අපි ඒ බෝට්ටුවේම වෙමු.

Thursday, June 21, 2012

බලං ඉඳිම් මං……

බලං ඉඳිල්ල එපා වෙච්ච දවසක අත්ඇරලා දාන්නම්. ඒත් දැන්ම නෙවෙයි. මට තාමත් බලං ඉන්න පුළුවන්. ඔයා එනකම් බලං ඉන්න පුළුවන්. ඇවිල්ල මම ඉන්නවද නැද්ද ගානක්වත් නැතුව ආයෙත් යන හැටි බලං ඉන්නත් පුළුවන්. හැමදාම කාගේ හරි උපන්දිනෙකට සුභ පතන හැටි බලං ඉන්න පුළුවන්. ඒ මගේ උපන්දිනේ උනානම් කියල හිත හිත ඒ දිහා බලං ඉන්නත් පුළුවන්. පොඩ්ඩකට ඇවිත් යන හැටි බලං ඉන්න පුළුවන්. ඇවිත් සැහෙන වෙලාවක් යනකම් ඔයා මුකුත් නොකර ඉන්න හැටි බලං ඉන්නත් පුළුවන්.අනිත් හැමෝමත් එක්ක කතා කරලා දුක සැප අහල යන හැටි බලං ඉන්න පුළුවන්. මොනවා කරත් මාත් එක්ක කතා නොකර යන හැටි බලං ඉන්නත් පුළුවන්. එ‍ක හිනාවක්‌ දිහා බලං ඉන්න පුළුවන්. පොඩ්ඩක්වත් හිනා නොවී මාත් එක්ක තරහින් වගේ ගස්සල යන හැටි බලං ඉන්නත් පුළුවන්. අවේලාවේ ඇවිත් යන හැටි බලං ඉන්න පුළුවන්. කිසිම වෙලාවක නේන හැටි බලං ඉන්නත් පුළුවන්. වැඩක අතරතුර ඇවිත් යන හැටි බලං ඉන්න පුළුවන්. කිසිම වැඩක් නැති වෙලාවට ඇවිත් කාලේ කන හැටි බලං ඉන්නත් පුළුවන්.
ඒත් වෙන කාට හරි ආදරේ කරනවා බලං ඉන්න පුළුවන් වෙයිද මට?

ක්‍රෑම…

(සරත් සෘතුව, 2011. දිනෙන් දින ලෙක්චර්ස් මැද කොළ වල කුරුටු ගෑ හීන, යුනිකේත වලට හැරවුණු වගයි.)
එකම එක මොහොතකට ඔයා ඇවිත් යන හැටි මං බලං උන්නා. ඔයා ආවේ ඇයි කියල මං දන්නේ නෑ. ඉක්මනටම ගියේ ඇයි කියල මම දන්නෙත් නෑ. ඒත් හැමදාම වගේ ඔයා ඇවිත් යන හැටි බලං උන්නා. හැමදාම වගේ, බලාගෙන විතරක් උන්නා.
පුංචි හිනාවක්‌ දීල යන්න, එකවතාවක්, ජීවත් වෙන්නට මට, හීන ලෝකයක, ඔයත් එක්ක, අතින් අත අල්ලගෙන, ටිකකට තුරුල් කරගෙන, උණුහුමට වෙලෙමින්, කෙස් රොදින් රොද පීරමින්, අතැඟිලි අතර, සිනිඳු කම්මුලක, ලොකු වුන දෑසක, වෙවුලන දෙතොලක, මගේ ආදරේ පළවෙනි සිහිවටනය තියන්නට, හීනෙන්වත්…
මහා ලොකු දේවල් නෙවෙයි, ඒත් පුංචි දේවල් ගොඩක් වටිනා ආදරයක, පුංචි පුංචි දේවල් ගොඩක් එක්ක ජීවත් වෙන්න මං කැමතියි. මහා ලොකු දේවල්, මහ ගොඩක් පස්සේ එළව එළවා ජීවත් වෙනවට වඩා…
අර්ථ දක්වන්න බැරි ආදරේ, වචන වලට පෙරල ගන්නවත් මට බැරිද?
පරමාර්ථය නොදැන නිරර්ථක උත්සාහයක යෙදෙන මම…
බලා ඉන්නවා ඔබ ඇවිත් යන දිහා,
නොදන්නා උම්මන්තකමකට පෙම් බැඳ,
අහන්නට වරම් නැත ඔබෙන්,
මගේම කූඩුවක කූරු ගනින මට.
මගේම උද්ධච්චකම, මටම එළව එළවා ගහන හැටි…
බලං උන්නා මම, නිකරුණේ
මගේ හිත කෑ මොර දෙනවා
ඒත්, මං තවමත් බලං ඉන්නවා
තවමත්, තවමත්., තවමත්..,
ඉවරයක්‌ නැති බලං ඉඳිල්ල.
මෝඩයා!
ආයෙමත් වහල් වෙන්න හදන්නේ,    මගේ හිත
මට නැතුව, වෙන කාටද