Monday, December 12, 2011

මනමේ විචාර විචාරය


as per every generation of ppl, (සෑම මනුෂ්‍ය පරම්පරාවක් පාසාම).,
while (end of මනමේ):
චුල්ල ධනුද්දර ජාතකය.       තවත් එ‍ක ජාතක කතාවක්., බොහෝ දෙනෙක් අහලාවත් නැති.
මනමේ බලනවා.      තවත් එ‍ක නාට්‍යයක් විතරයි.
සරච්චන්ද්‍රගේ මනමේ.      විචාරයක් ඇස ගැටෙනවා.
කියවීමෙන් පසු.,
මෙතුවක් නොදැකි පැතිකඩවල් හුඟක් දකින්න ගැනීම, විචාරාත්මක මනසක් සමගින් නැවත මනමේ බලන්න ආසාවක් ඇති වෙන තැනට එළඹෙනවා.
සුළුතරයක්.,      නැවත වතාවක් මනමේ බලනවා.
බොහොමයක්.,      තවත් මනමේ විචාරයක් ඇස ගැටුනොත් කියවනවා. එපමණයි.
අර සුළුතරයෙන් සුළු පිරිසක්.,      සැබෑ විචාරාත්මක මනසකින් මනමේ බලනවා.
අර සුළුතරයේ ඉතිරි පිරිස.,      නාට්‍යයේ උත්ප්‍රාසය නැවත වතාවක් විඳිමින් මනමේ බලනවා. එපමණයි.
අර සුළුතර සුළු පිරිසෙනුත් තවත් සුළු කොට්ඨාසයක්.,      චරිත ත්‍රිත්වයේ එකිනෙකට වෙනස් දෘෂ්ඨි කෝණ තුලින් දකිමින්, එයින් නිර්මාණයකට පෙළෙඹෙනවා.
අර සුළුතර සුළු පිරිසෙන් ඉතිරි කොට්ඨාසය.,      චරිත ත්‍රිත්වය තුලින් නිරූපිත එකිනෙකට වෙනස් දෘෂ්ඨීන් හඳුනාගන්නවා. එපමණයි.
අර සුළුතර සුළු පිරිසේ නිර්මාණාත්මක කාර්යයට පෙළෙඹෙන්නෙවුන්ගෙන් බිඳක්.,      තවත් වරක් හිතන්නට තරම් දෙයක් ඇති, මනමේ බැලූ තවත් පරපුරකට ඇස ගැටෙන්නට, විචාරයකට උප්පත්තිය දෙනවා.
end while
.
.
ප.ලි. : ලේඛන පරම්පරා කිහිපයක මනමේ විචාර රැසක් කියවීමෙන් පසු.,     පසුසටහනක්.
"සෑම මනුෂ්‍ය පරම්පරාවක් පාසාම..."

Saturday, October 1, 2011

නොදනිම් නොලියම්

ලියන්නට තරම් නිදහසක් නැති මම,
නොලියන ඇසිල්ලකට ඔබෙන් සමාව අයදින්නම්.

Sunday, July 3, 2011

එකමත් එක සොඳුරු හැඳෑවක.. එකමත් එක නොවන සොඳුරු හදවත් පෙළක්... එකට මුණගැහුන මොහොතක්....

නොලියපු බ්ලොග් එකක් ලියන්නටම හේතු වුනු හේතුඵලයක් ඊයේ හැඳෑවේ සිද්ද උනා. කාලයක් බ්ලොග් අවකාශයෙන් ටිකක් ඈතට තල්ලු වෙලා හිටි මාව ආයෙත් ඒ දිහාට අද්දගන්න තරමටත් ඒක ප්‍රබල උනා. මේ ඒ කතාව...


*****  (මම)  *****  added by ***** (ඇඩ් කරපු එකා) ***** to Galle වැසියෝ.
ඔතනින් තමා මේ කතාව පටන් ගත්තේ.
පෝස්ට් එකක් තියෙනවා ඊළඟ දවසේ මාව ටැග් කරලා. "ජුලි 2වෙනිදා උදේ 11ට ගාලු කොටුව ඔරලෝසු කනුව යටට."

වෙන වැඩ හිරවෙලා දවසෙම. ඒත් මොහොතකට හැමදේකින්ම මිදිලා පැනගත්තා. පරක්කුයි මම. ඒත් හැමදේම නැති වෙන තරම් නෙවෙයි.
"අඩෝ, කොහෙද උඹල ඉන්නෙ?"   මුළු රෑ පුරාම මිස් කෝල් ගහල ආතල් දීපු නොම්මරෙටම මම අයෙත් කතා කළා.
"ම්ම්ම්., මේ., මේ.., ඕලන්ද රෙපරමාදු පල්ලිය."
"ඒ මොක?"
"එතන ඉස්සරහ"
"එළ"

දාඩිය පෙරාගෙන පැදපු බයිසිකලේ පුරුදු තැනක් වෙන සවුත්ලන්ඩ්ස් එක ගාවම දාල පයින්ම ගියා 'ඕලන්ද රෙපරමාදු පල්ලිය' ගාවට. කට්ටියක් ඉන්නවා. ඒත් අඳුරන මූණක් දැක්කේ නෑ. අහ.., *****. දන්න ඩයල් එකක්.
එතැන් ඉඳං තිබුණේ 'රස'.  ඒවා ගැන මම කියන්න යන්න ඕන නෑ. ආපු උන් දන්නවා.

බ්ලොග් එකකින් විතරක්, ඒ ලියපු පෝස්ට් එකක හැඟීම්වලින් විතරක්, හැඟීමකින් හැඟීමකට, හදවතින් හදවතට විතරක්, කතා කරලා අඳුරගෙන හිටපු අපි.., හැබෑවටම ඉස්සරහට මුණ ගැහිලා කතාකරද්දී.............................................................................................................
ඒක ටිකක් විග්‍රහ කරලා කියන්නට අමාරු හැඟීමක්. විග්‍රහ කරලා ඒකෙ තියෙන 'රස' නැති කරගන්නේ නැතුව ඒ හැඟීමට එහෙමම ඉන්න අරින්න මම ආසයි.

අපි මුණගැහුනා. අඳුරගත්තා. කතා කළා. විහිලු කරගත්තා. අයියේ, අක්කේ, නංගි, මල්ලි, මචං, අඩෝ කියල ඇමතුවා. සින්දු කිව්වා. එකට අත්පුඩි ගහල තාලෙ ඇල්ලුවා. එක බත් පතේ කෑවා. එකෙක්ගේ පවසට තව එකෙක් වතුර දුන්නා.
වයරකින් විතරක් සම්බන්ධ වෙලා එකින් එකාට කතා කර කර හිටපු අපි ඊට එහා තිබුන සැබෑ ලෝකෙදි අතින් අත අල්ලගෙන හිටියා.
වටිනකම කියන්න බෑ මෙච්චරයි කියල. ඒත් වටිනවා. පොඩි කාලයක් තමයි. ඒත් ඒ වගේම වෙනින් පැය 3, 4කට වඩා වටිනවා, ගොඩාක්..
මොකද, එවලේ මුණගැහුනේ නිකම්ම නිකම් ජීවිත ටිකක් නෙවෙයි. නිකම්ම නිකම් හදවත් ටිකක් නෙවෙයි.
එකමත් එක නොවන සොඳුරු හදවත් ටිකක්..
එකමත් එක නොවන
....

Wednesday, February 23, 2011

අන්තිම පරිච්ඡේදය |:

ජීවිතේ ප්‍රථම ආදරය අමතක කරන්න බෑ කියන්නේ ඇත්තද? බොරුද? දැක්කේ මූණු පොතේ ටැග් කරලා තිබිච්ච පින්තූරෙකින්.. හිතෙන්නේ පොඩි දෙයයි. අපි අපේ ජීවිතවල හැමදේම මනින්නේ අපි ඒ ගැන ලබන ප්‍රථම අත්දැකීමෙන් කියලයි මම හිතන්නේ. අපි  යන්න ලියන්න ඉගෙන ගන්නෙත් ඒ දිහා බලන් ඉඳල. පලවෙනි වතාවට අපි ඒ දකින දේ වැරදි නම්, අපි අපේ මුළු ජීවිත කාලේ පුරාවටම ඒ වගේ වැරදියට ලියාවි. 
නෑ.. මම එහෙම කියන්නේ නෑ. ඒ වැරැද්ද හදාගන්න පුළුවන් අපිට. නමුත් ඊට වඩා සංකීර්ණ දෙයක් ගැන හිතන්න. 
ආදරේ.. අපි කාලයක් පුරාවටම ලබන අත්දැකීමක්. අපි අපේ මුළු ආත්මයටම විඳින්න ඉඩ අරින අත්දැකීමක්. අපේ මතකයේ තැන්පත් වෙන්න ඉඩ දීලා, ඒක නැවත නැවතත් සිහි කරලා සතුටු වෙන අත්දැකීම් ගොන්නක්.. මම එකින් එකට පැහැදිලි කරන්න උවමනා නෑ. (යම්කිසි විදියකින් හෝ ආදරේ විඳපු අයට පමණයි මේ පොස්ට් එක කියල ඔන්න දැම්ම වෙන් කළා.)
අපි ඒ වගේ ආදරයක් ආයෙත් විඳිනවා කියල හිතන්න. ජීවිතේ දෙවෙනි වතාවට. පලවෙනි ආදරයේ අත්දැකීම් මතකයේ තැන්පත් වෙලා තියෙනවා. අපි දෙවෙනි වතාවටත් එකම විදියේ දේවල් අත්දකින කොට, අපි ඉබේම ඒවා අපේ පලවෙනි අත්දැකීමත් එක්ක සංසන්දනය කරලා බලනවා නේද? පුරුදු තැනකට ගිහින් වාඩි වෙලා හිටියත්, අතීතයේ දවසක අපි එතැනදී කල දෙයක් එතන පොදු සම්මතය වෙනවා. අපි දෙවෙනි වතාවේදී එතැනදී කරන දේ අපි මනින්නේ ඒ පොදු සම්මතය මත ඉඳගෙන. අපි දෙවෙනි වතාවේදී අත්දකින දේ ඒ පොදු සම්මතයට වඩා, ඒ සම්මතයේ ප්‍රමාණයට වඩා වැඩිද අඩුද, උසස්ද පහත්ද කියල මැනගන්නයි අපි පුරුදු වෙලා ඉන්නේ. ඒක වරදක් නෙවෙයි. ඒ හැටි..
අපේ දෙවෙනි ආදරේ අපිට ලබාදෙන්නා ගැන උනත් එහෙමයි. සරලවම කිව්වොත්, මොකක් හරි දේකදී.,  "එයා මෙහෙම කළා, ඒත් ඇයි ඔයා එහෙම නොකරන්නේ" කියල කටින් නොකිව්වත් අපි හිතින් මුමුණනවා. අපි බලාපොරොත්තු වෙනවා එහෙම වෙයි කියල. පලවෙනි වතාවේ අත්දැකීමත් එක්ක අපි සංසන්දනය කරලා, ඊට වඩා හොඳ මට්ටමකින් ලැබුනොත් සතුටු වෙන්නත්, අඩු උනොත් දුකක් දැනෙන්නත්, ඒ මට්ටමටම වගේ විඳින්න ලැබුනොත් කිසිම හැඟීමක් නොපෙන්වන්නත් අපි නිකන්ම පෙළඹෙනවා. වරදක් නෙවෙයි..  ඒ හැටි..
අපි ආදරේ කරන පුද්ගලයා කියන්නේ අපේ ජීවිතේ අපි කෙනෙකුට ලබාදෙන තැනක්. සාමාන්‍ය සමාජ සංස්කෘතිය ඇතුලේ අපි, අපේ ජීවිත තුල එක එක පුද්ගල ස්ථාන වෙන් කරලා තියෙනවා. අම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට වගේම ගුරුවරයාට, අගය කරන්නාට, සුපර් මෑන්ට වගේම හොඳම යාලුවට යෙහෙළියට වගේම අපි ආදරය කරන කෙනාටත්. සමහර වෙලාවට ඒ තැන පුරවන පුද්ගලයා වෙනස් වියහැකියි වගේම කවදාවත් වෙනස් නොවීමේ අවස්ථාද බොහොමයි.  යම් විදියකින් වෙනස් උනොත්.... අන්න එදාට අපි ඒ දෙවෙනි වතාවට ඒ තැන ගන්න පුද්ගලයාව මනින්නේ ඒ තැන පළමු වතාවට තියාගෙන හිටපු පුද්ගලයා හා සසඳලා. එතැනදී අපි දෙවැන්නාගේ අඩුපාඩු විවේචනය කරන්නත්, පළමුවැන්නා කල අපි කැමති වූ දෙයක් දෙවැන්නාගෙන් බලාපොරොත්තු වෙන්නටත් අපි ඉබේම පෙළඹෙනවා. ඒක ආදරය සම්බන්ධයෙන් විතරක් විශේෂිත කාරණයක් නෙවෙයි. අපි අර වෙන් කරලා තියෙන කොයි පුද්ගල ස්ථානයටත් පොදු කාරණයක්..
අපි මේ සැසඳීම් හුඟක් වෙලාවට කරන්නේ දැනුවත්ව නෙවෙයි. මම අදහස් කරන්නේ., ඉතා හොඳින් තේරුම් අරන්, මම මෙහෙම කරනවා කියල සිහිබුද්ධියෙන් යුතුව නෙවෙයි මෙහෙම කරන්නේ. බොහොම සවිඥානිකව.. නොදැනුවත්වම.. කොහොම උනත් මේ සවිඥානික සැසඳීමෙන් පස්සේ අපේ හිතට පොඩි 'කහටක්' දැනෙනවා වගේ හැඟීමකුත් දැනිල තියෙන බව මට තේරුම් ගිය වතාවලුත් බොහොමයි.    
පලවෙනි අත්දැකීම වගේම තවත් යමක් දෙවෙනි වතාවට සිද්ධ වෙන, අපි ඒක අත්දකින වෙලාවකදී අපි අපේ පළමු අත්දැකීම, "මෙය සිදුවිය යුත්තේ මෙහෙමයි" කියන සම්මතය විදියට හිතේ පැලපදියම් වෙන බවයි මට තේරුම් යන්නේ. 
ඒක  යන්නටත් පොදු වෙන්න ඉඩ තියෙනවා සමහරවිට..

Monday, January 31, 2011

ඈත යන නුඹ...

නොදැන හිටියා නෙවෙයි අපි අපිව., ආදරේ කළා තුන් හවුරුද්දක් පුරාවටම...
තේරුම් අරන් හිටියා අපි අපිව., පොඩි සුසුමක වුනත් වෙනස හඳුනන තරමටම...
ඒත් අඳුරගෙන හිටියාදැයි අපි අපිව., සැකයි මට වෙන් වුනේ ඒ නිසාදැයි අපි අපෙන්....

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඈත යන නුඹ දුටුවාම., හිතුනා කතා කරන්නට., කොහොමදැයි අහන්නට., තරහින්ද බලන්නට..
මැඩගතිමි ඒ හැඟුම්., බලෙන් තෙරපලා හිත ඇතුලටම...
දුටුවෙමි නුඹ යන සැටි., නොදකිමින් මාව., නුඹේම සිහිනයක අතරමංව., මම නොසිටි ලෝකයක...
සිහින් සතුටක් ලැබිමි., නුදුටු හින්දා නුඹ මාව., තවත් අවුස්සන්නට ඕන කමක් නැති හින්දා., ඒ

අතීතය......

Thursday, January 6, 2011

තීරණයක් ගන්න තරම්...

අපි තීරණයක් ගන්න තරම් පරිණත වෙලාද?
මම කතා කරන්නේ ආදරේ ගැන.. මේක මේ දවස්වල මගෙ ඔලුවේ පිස්සු කෙලින අදහසක්. මම මූණදීල ඉන්න තත්වයක්..
අපි අපේ ජීවිත වල මුළු ඉතුරු කාලෙම ගත කරන්න සහකරුවෙක්/සහකාරියක් තෝරාගන්න තරම් පරිණත වෙලාද? අපිට එච්චර තේරුමක් තියෙනවද? අපිට හරියටම ගැලපෙන කෙනා කවුද කියල තෝරාගන්න අපිට පුලුවන්ද? අපි කෙනෙක් එක්ක සම්බන්ධකමක් පටන් ගත්තොත්, පස්සේ දවසක අපි ඒ ගත්තු තීරණේ වැරදි කියල අපිට පසුතැවෙන්න සිද්ද වෙයිද?
ඔන්න ඕව තමයි මගෙ හිතේ තියෙන ප්‍රශ්න.. කල්පනා කරන්න සිද්ද උනා ගොඩක්. මගේ ජීවිතේ ඉස්සරහ ගැන හිතල සෑහෙන්න දේවල් කල්පනා කළා. මොකද මට ඕන උනේ මගෙ ජීවිතේට වඩාත්ම ගැලපෙන තීරණය ගන්නයි..
අපේ තාත්තා කිව්ව කතාවක් මතක් උනා.
'' උඹ O/L වලට කලින් කෙල්ලෙක් දාගත්තොත්, ඒ කෙල්ල O/L පාස් වෙයිද නැද්ද දන්නේ නෑ. A/L කරන කාලේ කෙල්ලෙක් දාගත්තොත් ඒ කෙල්ල A/L පාස් වෙයිද නැද්ද දන්නේ නෑ. කැම්පස් එකේදී කෙල්ලෙක් දාගත්තොත් ඒ කෙල්ලට මොන ජොබ් එකක් ලැබිල, කොහොම තැනක නතර වෙයිද දන්නේ නෑ. ඒ හින්ද කෙල්ලෙක් තෝරාගන්න හොඳම තැන උඹ ජොබ් එකකටත් ගිහින්, හොඳට ස්ථාවර තැනකට ආවට පස්සේ ජීවිතේ පටන් ගන්න වෙලාව...''
අපේ තාත්තා මට කෙල්ලෝ ගැන කිව්වේ ඔච්චරයි. ඒ මම 10 වසරේදී, මට මතක හැටියට. එතැන් ඉඳන් මෙතෙක් කල් මට අපේ තාත්තා කෙල්ලෝ ගැන වෙන කිසිම දෙයක් කියල දීල නෑ.

ආදරෙන්ම විතරක් ජීවත් වෙන්න බෑ කියල මම තේරුම් අරන් ගොඩක් කල්. ඒ හින්ද අපේ ජීවිතේට කෙනෙක් ලං කරගනිද්දී අපි පරිස්සම් වෙන්න ඕන දේවල් ගොඩයි. සමහරුන් කියයි හොඳටම ආදරේ නම් අර සමහර තියෙන වැරදි මග අරවගෙන ජීවත් වෙන්න පුළුවන් කියල. පුළුවන්. ඇත්ත. ඒත් හැමදේම එහෙම මග අරවගන්න පුලුවන්ද? මම දන්නේ නෑ.
මට මතක් වෙනවා සින්දුවක්. ඒත් ඒක කිව්වේ කවුද කියල විතරක් නෙවෙයි, ඒකෙ පද පේලිවත් මට මතක් වෙන්නේ නෑ. නිකම්ම නිකම් අදහස විතරයි මතක් උනේ.
කොල්ල දකිනවා කෙල්ලෙක්. දකිනවා හෝ අඳුරගන්නවා. ඒ වෙනකොටත් කොල්ලට කෙල්ලෙක් ඉන්නවා. නමුත් කොල්ලට හිතෙනවා යම් මොහොතකට කලින් මේ දැන් දකින කෙල්ලව අඳුරගෙන තිබුන නම් මේ කෙල්ලව ලබාගන්න තිබුන නේද කියල. එහෙනම් ජීවිතේ මීට වඩා හොඳ තැනක තියෙන්නත් තිබුන නේද කියල............................
අහ්..., මතක් උනා. 
''පමා වැඩී ඔබ.., පමා වැඩී, 
ඔබ මුණ ගැසුනේ මට පසුවී,
............................................................
....................................................................
ඔබටම සිත පුදමී, ඔබටම සිත පුදමී....''

අර පේලි 2 මතක් වෙන්නේ නෑ මේ වෙලාවේ..
මගේ අර අන්තිමට දාල තියෙන ප්‍රශ්නේ.. ඒකට උත්තරයක් තියෙයිද..? ජීවිතේ කොහේදී හරි, වෙනත් තැනකදී, අපි කලින් ගත්තු තීරණේ වැරදියි කියල පසුතැවෙන්න සිද්ද වෙයිද? දවසක, මොකක් හරි දෙයකදී, අපිට හිතෙයිද, '' මට මීට වඩා හොඳ කෙල්ලෙක් හොයාගන්න තිබ්බා'' කියල.. දන්නේ නෑ.
දැන් තියෙන සම්බන්ධය බිඳලා දාල, ජීවිතේ ඉස්සරහදි මීට වඩා හොඳ කෙල්ලෙක් ලැබෙයි කියල හිතාගෙන ඉස්සරහට යන එක හරිද? එහෙම ගිහින් නොලැබුනොත්? ආපහු හැරිලා ඇවිත් අර කෙල්ල ගාව වැටිලා ආයෙමත් ආදරේ ඉල්ලන්න පුළුවන්ද? එතකොට ඒ කෙල්ලත් reserved නම්?
අනිත් අතට, අපි කොහොමද අපිට හරියටම ගැලපෙන කෙල්ල කවුද කියල තෝරගන්නේ? මිම්මක් තියෙන එකක්යැ..
කල්පනා කරලා කල්පනා කරලා අන්තිමට කිසිම විසඳුමක් හොයාගත්තෙත් නැතුව එක තැන කියල හිතෙනවා මට.. කිසිම ප්‍රගතියක් අත්වෙච්ච බවක් පේන්න නෑ. 
මම කොහොමද මගේ ජීවිතේට වඩාත්ම ගැලපෙන තීරණේ ගන්නේ?      

ප/ලි:
තාත්තේ., ඉස්සර නම් ජොබක් සෙට් වෙනකම්ම vacancy තියෙන කෙල්ලෝ ඕන තරම් හිටියා. ඒත් දැන්.., A/L කාලේ ඉවරවෙනකොටත් reserved නැති vacancyයක් තියෙන කෙල්ලෙක් හොයාගන්න එකත් මාරම ගේමක්.. දැන් තත්වේ එහෙමනම් මං මොකද කරන්නේ?

කෙල්ලෙක් තෝරාගන්න එකම ගැන කතා කරලා තියෙන එක ගැන සමාව ඉල්ලන්න ඕන, වැරදිලාවත් මේක බලන කෙල්ලොන්ගෙන්. කොල්ලෙක් තෝරන එක මට අදාල නොවේ.

අනික, ප්‍රශ්න වලින් පිරුන පොස්ට් එකක් වීම පමණක් ගැනත් මාගේ කණගාටුව.