Thursday, January 6, 2011

තීරණයක් ගන්න තරම්...

අපි තීරණයක් ගන්න තරම් පරිණත වෙලාද?
මම කතා කරන්නේ ආදරේ ගැන.. මේක මේ දවස්වල මගෙ ඔලුවේ පිස්සු කෙලින අදහසක්. මම මූණදීල ඉන්න තත්වයක්..
අපි අපේ ජීවිත වල මුළු ඉතුරු කාලෙම ගත කරන්න සහකරුවෙක්/සහකාරියක් තෝරාගන්න තරම් පරිණත වෙලාද? අපිට එච්චර තේරුමක් තියෙනවද? අපිට හරියටම ගැලපෙන කෙනා කවුද කියල තෝරාගන්න අපිට පුලුවන්ද? අපි කෙනෙක් එක්ක සම්බන්ධකමක් පටන් ගත්තොත්, පස්සේ දවසක අපි ඒ ගත්තු තීරණේ වැරදි කියල අපිට පසුතැවෙන්න සිද්ද වෙයිද?
ඔන්න ඕව තමයි මගෙ හිතේ තියෙන ප්‍රශ්න.. කල්පනා කරන්න සිද්ද උනා ගොඩක්. මගේ ජීවිතේ ඉස්සරහ ගැන හිතල සෑහෙන්න දේවල් කල්පනා කළා. මොකද මට ඕන උනේ මගෙ ජීවිතේට වඩාත්ම ගැලපෙන තීරණය ගන්නයි..
අපේ තාත්තා කිව්ව කතාවක් මතක් උනා.
'' උඹ O/L වලට කලින් කෙල්ලෙක් දාගත්තොත්, ඒ කෙල්ල O/L පාස් වෙයිද නැද්ද දන්නේ නෑ. A/L කරන කාලේ කෙල්ලෙක් දාගත්තොත් ඒ කෙල්ල A/L පාස් වෙයිද නැද්ද දන්නේ නෑ. කැම්පස් එකේදී කෙල්ලෙක් දාගත්තොත් ඒ කෙල්ලට මොන ජොබ් එකක් ලැබිල, කොහොම තැනක නතර වෙයිද දන්නේ නෑ. ඒ හින්ද කෙල්ලෙක් තෝරාගන්න හොඳම තැන උඹ ජොබ් එකකටත් ගිහින්, හොඳට ස්ථාවර තැනකට ආවට පස්සේ ජීවිතේ පටන් ගන්න වෙලාව...''
අපේ තාත්තා මට කෙල්ලෝ ගැන කිව්වේ ඔච්චරයි. ඒ මම 10 වසරේදී, මට මතක හැටියට. එතැන් ඉඳන් මෙතෙක් කල් මට අපේ තාත්තා කෙල්ලෝ ගැන වෙන කිසිම දෙයක් කියල දීල නෑ.

ආදරෙන්ම විතරක් ජීවත් වෙන්න බෑ කියල මම තේරුම් අරන් ගොඩක් කල්. ඒ හින්ද අපේ ජීවිතේට කෙනෙක් ලං කරගනිද්දී අපි පරිස්සම් වෙන්න ඕන දේවල් ගොඩයි. සමහරුන් කියයි හොඳටම ආදරේ නම් අර සමහර තියෙන වැරදි මග අරවගෙන ජීවත් වෙන්න පුළුවන් කියල. පුළුවන්. ඇත්ත. ඒත් හැමදේම එහෙම මග අරවගන්න පුලුවන්ද? මම දන්නේ නෑ.
මට මතක් වෙනවා සින්දුවක්. ඒත් ඒක කිව්වේ කවුද කියල විතරක් නෙවෙයි, ඒකෙ පද පේලිවත් මට මතක් වෙන්නේ නෑ. නිකම්ම නිකම් අදහස විතරයි මතක් උනේ.
කොල්ල දකිනවා කෙල්ලෙක්. දකිනවා හෝ අඳුරගන්නවා. ඒ වෙනකොටත් කොල්ලට කෙල්ලෙක් ඉන්නවා. නමුත් කොල්ලට හිතෙනවා යම් මොහොතකට කලින් මේ දැන් දකින කෙල්ලව අඳුරගෙන තිබුන නම් මේ කෙල්ලව ලබාගන්න තිබුන නේද කියල. එහෙනම් ජීවිතේ මීට වඩා හොඳ තැනක තියෙන්නත් තිබුන නේද කියල............................
අහ්..., මතක් උනා. 
''පමා වැඩී ඔබ.., පමා වැඩී, 
ඔබ මුණ ගැසුනේ මට පසුවී,
............................................................
....................................................................
ඔබටම සිත පුදමී, ඔබටම සිත පුදමී....''

අර පේලි 2 මතක් වෙන්නේ නෑ මේ වෙලාවේ..
මගේ අර අන්තිමට දාල තියෙන ප්‍රශ්නේ.. ඒකට උත්තරයක් තියෙයිද..? ජීවිතේ කොහේදී හරි, වෙනත් තැනකදී, අපි කලින් ගත්තු තීරණේ වැරදියි කියල පසුතැවෙන්න සිද්ද වෙයිද? දවසක, මොකක් හරි දෙයකදී, අපිට හිතෙයිද, '' මට මීට වඩා හොඳ කෙල්ලෙක් හොයාගන්න තිබ්බා'' කියල.. දන්නේ නෑ.
දැන් තියෙන සම්බන්ධය බිඳලා දාල, ජීවිතේ ඉස්සරහදි මීට වඩා හොඳ කෙල්ලෙක් ලැබෙයි කියල හිතාගෙන ඉස්සරහට යන එක හරිද? එහෙම ගිහින් නොලැබුනොත්? ආපහු හැරිලා ඇවිත් අර කෙල්ල ගාව වැටිලා ආයෙමත් ආදරේ ඉල්ලන්න පුළුවන්ද? එතකොට ඒ කෙල්ලත් reserved නම්?
අනිත් අතට, අපි කොහොමද අපිට හරියටම ගැලපෙන කෙල්ල කවුද කියල තෝරගන්නේ? මිම්මක් තියෙන එකක්යැ..
කල්පනා කරලා කල්පනා කරලා අන්තිමට කිසිම විසඳුමක් හොයාගත්තෙත් නැතුව එක තැන කියල හිතෙනවා මට.. කිසිම ප්‍රගතියක් අත්වෙච්ච බවක් පේන්න නෑ. 
මම කොහොමද මගේ ජීවිතේට වඩාත්ම ගැලපෙන තීරණේ ගන්නේ?      

ප/ලි:
තාත්තේ., ඉස්සර නම් ජොබක් සෙට් වෙනකම්ම vacancy තියෙන කෙල්ලෝ ඕන තරම් හිටියා. ඒත් දැන්.., A/L කාලේ ඉවරවෙනකොටත් reserved නැති vacancyයක් තියෙන කෙල්ලෙක් හොයාගන්න එකත් මාරම ගේමක්.. දැන් තත්වේ එහෙමනම් මං මොකද කරන්නේ?

කෙල්ලෙක් තෝරාගන්න එකම ගැන කතා කරලා තියෙන එක ගැන සමාව ඉල්ලන්න ඕන, වැරදිලාවත් මේක බලන කෙල්ලොන්ගෙන්. කොල්ලෙක් තෝරන එක මට අදාල නොවේ.

අනික, ප්‍රශ්න වලින් පිරුන පොස්ට් එකක් වීම පමණක් ගැනත් මාගේ කණගාටුව.

No comments:

Post a Comment

දැනුණු දෙයක්., පහළින් කියන්න.