Monday, December 3, 2012

පිළිතුරය ඔබ මගේ, පැනය අමතකය දැන් ...!


(සිංදුවක් ලියල දීපං ලියල දීපං කියල මූ මට කරදර කරන්නෙ අනාදිමත් කාලයක ඉඳං. නිමිත්තක් නැතෙයි කිය කිය මග ඇර ඇර ඉඳල ඊයේ මහ රෑ ජාමේ මේ පදවැල් මගෙ අතින් ලියවෙන්නේ හරි පුදුම විදියට.
නිදියන්නටම ඇඳට වෙලා ඉඳිද්දී මත්වුණු හිත තවත් මත් වෙන්නටම අරක්කු ඉල්ලල කෑගහන හඬ හිස් බඩ ඇතුලෙ දෝංකාර දෙද්දී., හිතට ආපු පදවැල් ඇඳේ ඉඳගෙනම අතට අහුවුන කොළ කෑල්ලක ෆෝන් කට්ටෙ එළියෙන්ම ලියල දැම්මේ එ‍ක හුස්මට.)
ජූලි 10,2012

ගැටෙනා අයිස් කැට මදින් මද දියවෙනා
එළෙසින්ම ඔබ මගේ මතකයෙන් බොඳ වෙනා
ජීවිතය වීදුරුව තුළින් පිළිබිඹු වෙනා
පිළිතුරය ඔබ මගේ පැනය අමතකය දැන්

කූඩුවක හිර කෙරුණු තටු සිඳුණු හිත මගේ
යදම් බිඳ ඉගිලෙන්න වරම් දෙන්නට හිතට
අඩ සිඳුණු බෝතලය නිදහසේ මාවතේ
යතුර ඔබ විවර කෙරුමට අගුලුළු මසිත

ගැටෙනා අයිස් කැට//

ආදරේ විරහවේ පැහැය කළු සුදු වුනා
ඉකිබිඳින හඬන හිත අඳුරේ ගිලී
ඉරිතැළුණු හදවතේ පවසකට තෙතමනය
පිනි සිසිල ඔබ හිතට ඇයව අමතකය මට

ගැටෙනා අයිස් කැට//

Friday, July 20, 2012

ආගම හා පරිණාමනය ( අන්තිම පරිච්ඡේදය |:. )


හෝමෝ සේපියන්ස් සේපියන්ස් නම් වූ ක්ෂීරපායීයා මනුෂ්‍යයෙකු කරන්නට ආගමෙන් සිදුවූ මෙහෙය අති උත්කෘෂ්ටය. පිළිගනිමි. ගරු කරමි. ආගම නොවන්නට ඒ ක්ෂීරපායීයා මනුෂ්‍යයෙකු වන්නට තවත් බිලියනයක් වූ කලක් ගත වනු ඇත. අනේක සංඛ්‍යාත වූ ශිෂ්ඨාචාර ගණනකින් හැඩගස්වා අද ඉන්නා අපි; නූතන මනුෂ්‍යයා බිහි කරන්නට හේතු පාදක වූයේ ආගම යැයි ඔබ පවසන්නේද, එයටද එකඟ වෙම්. සමාජීය හා මානසික වශයෙන් පමණක් නොව, කායික වශයෙන් උවද මනුෂ්‍යයා හැඩගස්වන්නට ආගම මූලික විය. සංස්කෘතිය බිහි වූයේද ආගම හරහාම විය.
සරලාර්ථයෙන්, ආගමම පදනම විය.

නමුත් කතාව ඒ ගැන නොවේ. මනුෂ්‍යයා පරිණාමය විය. වෙයි. වෙමින් පවතී. හෝමෝ සේපියන්ස් සේපියන්ස් වූයේද පරිණාමය වීය. එතැන් ඉඳ තවමත් පරිණාමය වෙමින් ඉඳිමු. අවසානයට ළඟාවී නැති සෙයකි. මේ පරිණාමන රේඛාවේ හෝමෝ සේපියන්ස් සේපියන්ස් විසින් පසු කළ සැතපුම් කණු බොහෝය. ඒවා පසු කරන්නට උදව් කරගත් සංකල්ප ද බොහෝය. ආගමද එයින්  එක්  සංකල්පයකි. ශිෂ්ඨාචාර ගත නොවූ නොදියුණු යැයි හඳුන්වන ආදි මානවයා, ශිෂ්ඨාචාර ගත කරන්නටද, දියුණු කරන්නට, මනසෙන් උසස් කරන්නටද ආගම නැමැති සංකල්පය බිහි විය. උදව් විය. ඒ සංකල්පය ඔස්සේ මනුෂ්‍යයා පරිණාමන රේඛාවේ සැතපුම් කණු ප්‍රකෝටි ගණනක් පසු කරන්නට සමත් විය.
ඒ සංකල්ප යාත්‍රාව ආගමම විය.

ආගම නැමැති සංකල්පයේ හරය කුමක්දැයි විමසන්නේ නම් 'මනුෂ්‍යයා යහපත් කිරීම' යන වාක්‍ය ඛණ්ඩය සෑහේ ඕනෑම ආගමකටම. ආගම නැමැති සංකල්පය තුළින් කෙරෙන වෑයම එයය. එය සඵල වූ කළ ඒ සංකල්පය කල් ඉකුත් වේ. මනුෂ්‍යයාට පරිණාමනය වෙන්නට රුකුල් දුන් තවත් එක් සංකල්පයක් පමණක්ම වෙයි. ඒ සැතපුම් කණුව ඉක්මවූ කළ ආගමද, ඉදිරියට ප්‍රගුණ කරගෙන යාමෙන් පලක් නැති තවත් එක් හණමිටි සංකල්පයක්, අදහසක්ම පමණකි. එකලට ඒ සංකල්පය බිමින් තබා පරිණාමනයේ ඉදිරියට යා යුතුය. කිමද යත් ගොඩට ආ කල බෝට්ටුව කරපින්නා ගෙන යාමෙන් පලක් නැත.

ඒත්, තාමත් අපි ඒ බෝට්ටුවේම වෙමු.

Thursday, June 21, 2012

බලං ඉඳිම් මං……

බලං ඉඳිල්ල එපා වෙච්ච දවසක අත්ඇරලා දාන්නම්. ඒත් දැන්ම නෙවෙයි. මට තාමත් බලං ඉන්න පුළුවන්. ඔයා එනකම් බලං ඉන්න පුළුවන්. ඇවිල්ල මම ඉන්නවද නැද්ද ගානක්වත් නැතුව ආයෙත් යන හැටි බලං ඉන්නත් පුළුවන්. හැමදාම කාගේ හරි උපන්දිනෙකට සුභ පතන හැටි බලං ඉන්න පුළුවන්. ඒ මගේ උපන්දිනේ උනානම් කියල හිත හිත ඒ දිහා බලං ඉන්නත් පුළුවන්. පොඩ්ඩකට ඇවිත් යන හැටි බලං ඉන්න පුළුවන්. ඇවිත් සැහෙන වෙලාවක් යනකම් ඔයා මුකුත් නොකර ඉන්න හැටි බලං ඉන්නත් පුළුවන්.අනිත් හැමෝමත් එක්ක කතා කරලා දුක සැප අහල යන හැටි බලං ඉන්න පුළුවන්. මොනවා කරත් මාත් එක්ක කතා නොකර යන හැටි බලං ඉන්නත් පුළුවන්. එ‍ක හිනාවක්‌ දිහා බලං ඉන්න පුළුවන්. පොඩ්ඩක්වත් හිනා නොවී මාත් එක්ක තරහින් වගේ ගස්සල යන හැටි බලං ඉන්නත් පුළුවන්. අවේලාවේ ඇවිත් යන හැටි බලං ඉන්න පුළුවන්. කිසිම වෙලාවක නේන හැටි බලං ඉන්නත් පුළුවන්. වැඩක අතරතුර ඇවිත් යන හැටි බලං ඉන්න පුළුවන්. කිසිම වැඩක් නැති වෙලාවට ඇවිත් කාලේ කන හැටි බලං ඉන්නත් පුළුවන්.
ඒත් වෙන කාට හරි ආදරේ කරනවා බලං ඉන්න පුළුවන් වෙයිද මට?

ක්‍රෑම…

(සරත් සෘතුව, 2011. දිනෙන් දින ලෙක්චර්ස් මැද කොළ වල කුරුටු ගෑ හීන, යුනිකේත වලට හැරවුණු වගයි.)
එකම එක මොහොතකට ඔයා ඇවිත් යන හැටි මං බලං උන්නා. ඔයා ආවේ ඇයි කියල මං දන්නේ නෑ. ඉක්මනටම ගියේ ඇයි කියල මම දන්නෙත් නෑ. ඒත් හැමදාම වගේ ඔයා ඇවිත් යන හැටි බලං උන්නා. හැමදාම වගේ, බලාගෙන විතරක් උන්නා.
පුංචි හිනාවක්‌ දීල යන්න, එකවතාවක්, ජීවත් වෙන්නට මට, හීන ලෝකයක, ඔයත් එක්ක, අතින් අත අල්ලගෙන, ටිකකට තුරුල් කරගෙන, උණුහුමට වෙලෙමින්, කෙස් රොදින් රොද පීරමින්, අතැඟිලි අතර, සිනිඳු කම්මුලක, ලොකු වුන දෑසක, වෙවුලන දෙතොලක, මගේ ආදරේ පළවෙනි සිහිවටනය තියන්නට, හීනෙන්වත්…
මහා ලොකු දේවල් නෙවෙයි, ඒත් පුංචි දේවල් ගොඩක් වටිනා ආදරයක, පුංචි පුංචි දේවල් ගොඩක් එක්ක ජීවත් වෙන්න මං කැමතියි. මහා ලොකු දේවල්, මහ ගොඩක් පස්සේ එළව එළවා ජීවත් වෙනවට වඩා…
අර්ථ දක්වන්න බැරි ආදරේ, වචන වලට පෙරල ගන්නවත් මට බැරිද?
පරමාර්ථය නොදැන නිරර්ථක උත්සාහයක යෙදෙන මම…
බලා ඉන්නවා ඔබ ඇවිත් යන දිහා,
නොදන්නා උම්මන්තකමකට පෙම් බැඳ,
අහන්නට වරම් නැත ඔබෙන්,
මගේම කූඩුවක කූරු ගනින මට.
මගේම උද්ධච්චකම, මටම එළව එළවා ගහන හැටි…
බලං උන්නා මම, නිකරුණේ
මගේ හිත කෑ මොර දෙනවා
ඒත්, මං තවමත් බලං ඉන්නවා
තවමත්, තවමත්., තවමත්..,
ඉවරයක්‌ නැති බලං ඉඳිල්ල.
මෝඩයා!
ආයෙමත් වහල් වෙන්න හදන්නේ,    මගේ හිත
මට නැතුව, වෙන කාටද

වරෙන්තුව

(ලියූ දිනය විය යුත්තේ අගෝස්තු 07, 2012 දින සිට මාස 04කුත් දවස් 14ක් ගත වූ දින මුත් මෙය ලියුවේ ඊට සෑහෙන දින ගණනකට පෙර බව යන්තං සිහිවේ.) 
අද වෙනකොට හරියටම මාස හතරකුත් දවස් දාහතරකුත් ගතවෙලා. වරෙන්තුව හම්බවෙලා. ජීවිතේ කිසිම අවස්ථා සම්බන්ධයක් නැති මාස හතරකුත් දවස් දාහතරක්. ගත වෙලා ගිහින්. ගොඩක් පාරවල් පෙන්නපු ජීවිතේ මම යන්නං කියල තෝරගත්තු එ‍ක පාරක් මේක. නවතින්න විදියක් නැති, ආපහු හැරෙන්න බැරි පාරක ඉස්සරහට යනගමන්. ඉස්සරහටම මිස වෙන යන්න දිහාවක් නැති පාරක්. මොනවා කියල කරන්නද? කරන්න කියල මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? මම දන්නේ නෑ. එ‍ක අතකට හිතෙනවා දැනගන්න මට උවමනාවකුත් නැද්ද කියල. මම දන්නේ නෑ.
වසන්තයකුත් ගිම්හානයකුත් ඉවර වෙලා ගිහින්. හිම වැටිච්ච සුදු පාටක් විතරක් ඉතුරු වෙලා. මල ගෙවල් වල පාට. මට එහෙම හිතුන. ඒත් මෙහෙ මිනිස්සු මළගෙවල් වලට අඳින්නේ කළු. සුදු නෙවෙයි. ඒත් මම තාම මලගෙදරකට අඳින්නේ සුදු. කළු සුදු අතර අවුලක්. පරතරයක්. වෙනසක්.
වරෙන්තුව හම්බවෙලා අදට මාස හතරකුත් දවස් දාහතරක්. ජීවිතේ ගෙවිල යන හැටි බලං ඉන්නවා මං. වෙනස් කරන්න උවමනාවක් නෑ. මොකද මම වෙනස් කරන විදියෙන් වැඩියෙන්ම පස්සට පාඩු වෙන්නෙත් මට නිසා. ගත කරන ජීවිතයක් නෙවෙයි. ගෙවිල යන ජීවිතයක්. හිතාගන්න බැරුව ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්න වෙලාවල් අනන්තයි. අප්‍රමාණයි. මාස හතරකුත් දවස් දාහතරකුත් ගත උනාට පස්සේ තව මොනවා වෙනස් කරන්නද? ඕන නෑ. ඔන්න ඔහේ ඉතුරු ටිකත් අනන්ත අප්‍රමාණ බලං ඉඳිල්ලෙම ගෙවල දානවා. තව කොච්චරක් කියල බලං ඉන්නද? මම දන්නේ කොහොමද? කොහොම උනත් තව මාස හතරකුත් දවස් දාහතරකට නම් වැඩියි. ඒක මං දන්නවා. ඒ වගේ තව තව තව දහදොළොස් වාරයක්. ඔහේ ගෙවිල යාවි. තවත් ටිකක් ගෙවිල යාවි.
ජීවිතේ ගෙවිල යාවි.

පොළවේ පය නොගහපු විප්ලවවාදියා

“දේශමාමකයෙක් වගේ වැඩ කරපං. රට දෙකඩ කරන්න දෙන්නේ නැතුව රටේ ස්වෛරීභාවය රැකගනින්. වීදේශ කුමන්ත්‍රණ වලට රැවටෙන එකම විතරයි මේ ආණ්ඩුවෙන් වෙන්නේ. වෙන එක හොඳක් කියපල්ලා බලන්න මුන් කරපු. රටම අගාධයට ගිහිං. ජනතාව එහෙං ජීවන බරෙන් මිරිකිලා ගිහින්. මුළු මහත් යුරෝපීය  හැතිකරයටම අපේ රට ණය වෙලා. හැම මිනිහෙක්ම ණය බරින් මිරිකිලා ගිහින්. මේක දැන් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙවෙයි තවත්. තවත් එක සුද්දන්ගේ ධනේශ්වරවාදයේ අතකොළුවක් වෙච්ච රටක් වෙලා. අපේ රටේ නිර්ධන පන්තිය ඕක තේරුම් ගන්නේ නෑ. තේරුම් ගත්තත් ඔලුව පහත් කරන් කරබාගෙන ඉන්නවා. ඇයි ඒ? ප්‍රතිගාමීන්ට බය වෙලා. පූර්ව සමාජවාදය මුළුමනින්ම අතුගෑවිලා ගිහින් මේ රටෙන්. සමාජ විප්ලවවාදීන් මුළුගැන්නිලා. අත්‍යන්තයෙන්ම සමාජ විප්ලවවාදීන් උන මිනිස්සු රටේ විධායක පන්තිය විසින් යට කරලා. එහෙමත් නැත්නම් ඊනියා විප්ලවාදීන් විසින්ම යට කරගෙන. ලාංකේය වාමාංශික ව්‍යාපාරය, සුළු ධනපති චිත්ත ස්වභාවය උඩ ජීවත් වෙන වැඩවසම් ක්‍රමයට හැඩගැහෙන්න හදන නිහීන පන්තියක් විසින් යට කරලා දාන්න හදනවා.
ඒත් තාමත් මේ රටේ ඉන්නවා දේශමාමකත්වය ඔඩුදුවන නිකැළැල් වාමාංශිකයෝ. රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය පාවාදෙන්න අපි සූදානම් නෑ. ජීවිත පරදුවට තියලා උනත් ආයෙත් මේ රටේ සමාජවාදයේ න්‍යායාත්මක චින්තනයක් ගොඩනගන්න සූදානම් විප්ලවවාදීන් රැසක් ඉන්නව. ඒක කරලියට ගේන්න වතාවකුත් අපි කැපවුණා. ආයෙත් වතාවක් නිර්ධන පන්තියට පණපොවල ඒ උතුම් කාර්ය කරන්න අපි සූදානම්. මේ රට සංවර්ධනයට යොමු කරන්න තියෙන එකම මාර්ගය ඒක. දුෂ්කර උනත් ඒ මාර්ගයේ අදාළ ක්‍රම වල අපි පියනගන්න සූදානම් වෙන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදයයි සමාජවාදයයි ගිලිහිලා යන්න හදන මේ රට ආයෙත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක් කරන්නයි අවශ්‍යය. නැතුව තවත් ධනේශ්වරවාදී ගැත්තෙක් වෙන්න ඉඩ ඇරලා බලං ඉන්න එ‍ක නෙවෙයි. මේ රට ජාත්‍යන්තරය ඇතුලේ එහාට මෙහාට විසිවෙන අතකොළුවක් වෙන්න නොදී අපේ රටේ ස්ව්වෛරීත්වය රැකගන්නයි ඕන.
ඒක කරන්න ඕන අපියි සහෝදරයා. ඒක කරන්න පුළුවනුත් අපිට විතරයි සහෝදරයා. අන්න ඒක තේරුම් ගන්න.”

- අඩියටම හිස් වුන වීදුරුව ටිකක් බරට කනප්පුව උඩින් තියපු විමල් හිටගත්තා.
“හ්ම්ම්…”
— “වාඩිවෙයං #$%&%”
විසිවෙලා ගියපු අඩිය බිඳුන ගල් බෝතලේ රතු ලේ පාරක් හිටල තිබුණ.

සහෝදරයෙක්ගේ උණුහුම..

“මල්ලි…. උඹල අපි එකට හැදිච්ච උන්. අපි දන්නවා වංහුං හැමදේම.. වෙනස් වෙලා නැති දේවල් වගේම වෙනස් වෙලා තියෙන දේවලුත්.
ඒක උඹට තේරෙනවනේ.. මුකුත් නොදැන ඇවිත් උඹත් එක්ක කතා කරනවා නෙවෙයි මල්ලි.. උඹ ඔය දඟලන දැඟලිල්ල වෙන දිහාක කරා නම් අද උඹල කොහෙද.. උඹල වගේම අපිත් කරා මල්ලි.. ඒත් අපි තාම මෙතන..
පේන්නේ නැත්තේ නෑනේ උඹට. උඹලටත් වෙන්නේ ඔය ටිකම තමා.. බලං ඉඳපන්කෝ.. තේරෙයි උඹට.. දැන්ම නෙවෙයි.. තව ටික කාලෙකින්. අපි ඉන්න තැනට වැටුනම.. අපි වගේ නන්නත්තාර උනහම.. තේරෙයි උඹලට..
දැන් ඒ ටික අපිට තේරෙන හින්දයි කියන්නේ.. මේ අනිත් හැමදේම වගේ උඹලට කියලත් මොනවා හරි කරගනිල්ල. හැමදාම මුන්ටම කඹුරලා හරියන්නේ නෑ. තේරෙයි උඹලට ඒක පස්සේ.. ඒත් එතකොට අපි වගේම පරක්කු වැඩි වෙලා තියෙයි උඹලටත්.. ඒකයි කියන්නේ..
දැන්ම ගොඩ යන විදියක් හොයාගනින්. උඹට ආදරේට කවුරුත් මේවා කරන්නේ නෑ. උඹට  කියල කවුරුත් උඹ ගැන හිතල මුකුත් කරලා දෙන්නෙත් නෑ..
ඒ හන්දා., අපි ගොඩ යන විදියක් අපිම හොයාගන්න ඕන මල්ලියෝ..”
.
උණුහුම පිරිච්ච අතින්, ලේ නහර උලුප්පගෙන.,
මට යථාර්ථය කියල දෙන්න හදපු සහෝදර කැක්කුමට.,
පිදුම.

මම පරාද වේවි.

Posted on 
කිසිම හේතුවක් නැතුව හැමදේම අත් ඇරලා යන්න තරම් මට හේතුවක් තිබුනද? නැත්නම් මට නිකම්ම යන්න ඕනකමට මම මෙහෙම  කරනවද? මටම දැන් පැටලිලා ඇයි මම මෙහෙම කරන්නේ කියල..
තීරණයක් ගත්ත මම. නිකම්ම නෙවෙයි. සෑහෙන්න හිතල.. ඒත් දැන් මගේ හිතටම ඒ තීරණේ වෙනස් කරන්න ඕනලු. මට තේරෙන්නේ නෑ ඇයි කියල. මොකද්ද තවත් වෙනස් වෙන්න ඕන..? ඔලුවෙන් හිතල ගත්තු තීරණයක් ඒක. තවත් ඒකෙ වෙනස් කරන්න දෙයක් නෑ. උපරිම වශයෙන් මානසික මට්ටම හොඳට තියෙද්දී ගත්තු තීරණයක් ඒක.. මගේ ජීවිතේ ඉස්සරහ ගැන හිතල ගත්තු තීරණයක්. මම යන්න ඉන්න පාරත් එක්ක., මගේ අරමුණුත් එක්ක සසඳලා ගත්තු තීරණයක්. හිතුමතේටම ගත්තු විකාරයක් නෙවෙයි. ඒත් දැන්………………..
මටම තේරෙන්නේ නෑ ඇයි මේ කියල… කොයි වෙලෙත් හිතෙන්නේ මට ආපහු හිටපු තත්වයට යන්නමයි. අවුරුදු 2 1/2 ක් 3ක් කියන්නේ එච්චරටම ලොකු කාලයක්ද? ඒ පොඩි කාලයක් තුල සිදුවුන, යම්කිසි නොවැදගත් සහ යම්තාක් දුරකට වැදගත්, නමුත් කිසිසේත් අසාමාන්‍ය නොවන හා මා මෙන්ම සාමාන්‍ය ලෝකයේ අනිකුත් මා වැනි පාර්ශවයන්ද, මා මීට පෙර එක්වරක්ද, යම්විටෙක යමෙක් ජීවිතය තුල නිරතුරුවද, මා වැන්නවුන් ඉතා සුළු වතාවන් කිහිපයක්ද, තවත් යමෙක්ට ජීවිතයටම එක් වතාවක්ද මුහුණපාන්නට වන්නාවූ මෙවන් සිද්ධි හෝ සංසිද්ධියක් ගැන., මා විසින් මාගේ මුළු ජීවිතය පුරාවටම ඉසිලීමට නොහැකි නොවන, නමුත් ඉසිලීමට හැකියාවක්ද නොමැති, කැමත්තක්ද නොමැති., වගකීමකට හා පොරොන්දුවකට මා බැඳී සිටිය යුතුද?? මම දන්නේ නෑ.

ප්‍රශ්නයෙන් පැනල යන්න ඕන කමක් නෑ මට.. මට ඕන මේක විසඳ ගන්න. හොඳින්.. හැමෝමටම හොඳ විදියට.. මට ඒක පුළුවන් වෙයිද? මට මගේ හිතටම වහල් නොවී ඒක කරගන්න පුළුවන් වෙයිද? ඔලුවත් හිතත් මගේ ඇතුලේ ඉඳන් උන් උන්ගේ වලියක්.. දෙන්නගෙන් එකෙක්වත් මම කියන දේ තඹේකට මායිම් කරන්නේ නෑ.. උන් උන්ගේ වලි.. තැලෙන්නේ මම.. තීරණයක් ගන්න බැරුව., විකාර වෙලා ඉන්නේ මම..
මට තේරෙනවා දැන්.. උන් දෙන්නගෙන් එකෙක් දිනනකම් මට දිගටම මෙහෙම ඉන්න වෙනවා. එකෙක් දිනනකන් දිගටම මාව මෙහෙම තැලෙයි, පොඩි වෙයි. ඒත් ඉවසන් ඉන්න වෙනවා. එකෙකුට එකෙක් පරාද නොවෙන වලියක උණුහුම් අවසානයක් වෙනකම් මට ඉවසන් ඉන්න වෙනවා. අන්තිමට………….
අන්තිමට දිනන එකා මව වහලෙකුට ගනීවි. ඌට හැටියට මාව නටවාවී.. මට ඌ කියන හැටියට කරන්න වේවි., හරි හෝ වැරදි හෝ..
දෙකෙන් කොයි එක උනත් සිද්ද වෙන්න පුළුවන් කියල මට දැන් තේරෙන එකම එක දෙයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ…..
මම පරාද වේවි.

කෙටුම්පත් කරළියට


මෙව්වා මම ලියන එව්වාය. මම ලියන බහුබූත, පල්හෑලි කමකට නැති, කිසිවෙකුට වැඩක් නැති එව්වා බව හැබෑය. ඒත් අර කවුරුත් දන්නා කතාව වගේ මම ලියන එව්වා මට හොඳය. මම නරක බව වෙනම කතාවකි. ඒක මෙතැනට අදාළ නැත. අනික මේක කියවන්නටද මොකෙක්වත් නැත. වැඩිපුරම කියවන්නේ මමමය. ඒ හින්දා ගුණදොස් කියා පහරන්නටද කවුරුත් නැත. මම ලියන එව්වා මගේය.
මට ඇත්තේ එ‍ක බ්ලොගයක් පමණක් නොවේය. මහා ගොඩක් ඇත. ඒත් ලියන්නේ එ‍ක එ‍ක ඒවා එ‍ක එ‍ක තැනය. මොනවා හරි එ‍ක තැනකට එකතු කළ යුතුව ඇත. එකමත් එ‍ක තැනක සැඟව තිබූ ලිපි කෙටුම්පත් තොගයක් ළඟදී කරළියට ආවාය. මේ දෙවෙනි පියවරය.
ඔක්කොම එකම තැනකට...

 මෙතුවක් කල් ඒ බ්ලොගයේ තිබුණේ draftsය. නැතහොත් කෙටුම්පත්ය. ලියන්නට යෙදුනු වර්ණනා හැම එකම පස්සෙන් පස්සට එළියට දැම්මේ නැත. ඔක්කොම තිබුණේ කෙටුම්පත් ලෙසමය. අද හිට එය වෙනස් වේ. මොකද මටම වුවද පසුවට කියවන්නට හිතුණු විටෙක බැලීම එපා වේ. හරි හරි… මම මටම මෙහෙම බොරු කියාගන්නා හැටි ෆට්ට කුජීතය. හැබෑ කතාව මේකය. යන්තං කිහිපදෙනක් පමණක් දන්නා මේ බ්ලොගය බලන්නටම කියා කෙනෙකුට දුනිමි. දුන්නේ නිකං ණයක් බේරන්නට වගේය. නමුත් දුන් එ‍ක ගැන හිතේ අහිතක් නැත. එයින් මෙයින් බ්ලොග් කෙරුවාව ගැන පොඩි පිබිදීමක් ඇතිවී ඇත. කෙටුම්පත් ටික එළියට එන්නෙ ඒ ගැම්මෙන්ය.
brace yourselves! posts are coming!