Friday, July 20, 2012

ආගම හා පරිණාමනය ( අන්තිම පරිච්ඡේදය |:. )


හෝමෝ සේපියන්ස් සේපියන්ස් නම් වූ ක්ෂීරපායීයා මනුෂ්‍යයෙකු කරන්නට ආගමෙන් සිදුවූ මෙහෙය අති උත්කෘෂ්ටය. පිළිගනිමි. ගරු කරමි. ආගම නොවන්නට ඒ ක්ෂීරපායීයා මනුෂ්‍යයෙකු වන්නට තවත් බිලියනයක් වූ කලක් ගත වනු ඇත. අනේක සංඛ්‍යාත වූ ශිෂ්ඨාචාර ගණනකින් හැඩගස්වා අද ඉන්නා අපි; නූතන මනුෂ්‍යයා බිහි කරන්නට හේතු පාදක වූයේ ආගම යැයි ඔබ පවසන්නේද, එයටද එකඟ වෙම්. සමාජීය හා මානසික වශයෙන් පමණක් නොව, කායික වශයෙන් උවද මනුෂ්‍යයා හැඩගස්වන්නට ආගම මූලික විය. සංස්කෘතිය බිහි වූයේද ආගම හරහාම විය.
සරලාර්ථයෙන්, ආගමම පදනම විය.

නමුත් කතාව ඒ ගැන නොවේ. මනුෂ්‍යයා පරිණාමය විය. වෙයි. වෙමින් පවතී. හෝමෝ සේපියන්ස් සේපියන්ස් වූයේද පරිණාමය වීය. එතැන් ඉඳ තවමත් පරිණාමය වෙමින් ඉඳිමු. අවසානයට ළඟාවී නැති සෙයකි. මේ පරිණාමන රේඛාවේ හෝමෝ සේපියන්ස් සේපියන්ස් විසින් පසු කළ සැතපුම් කණු බොහෝය. ඒවා පසු කරන්නට උදව් කරගත් සංකල්ප ද බොහෝය. ආගමද එයින්  එක්  සංකල්පයකි. ශිෂ්ඨාචාර ගත නොවූ නොදියුණු යැයි හඳුන්වන ආදි මානවයා, ශිෂ්ඨාචාර ගත කරන්නටද, දියුණු කරන්නට, මනසෙන් උසස් කරන්නටද ආගම නැමැති සංකල්පය බිහි විය. උදව් විය. ඒ සංකල්පය ඔස්සේ මනුෂ්‍යයා පරිණාමන රේඛාවේ සැතපුම් කණු ප්‍රකෝටි ගණනක් පසු කරන්නට සමත් විය.
ඒ සංකල්ප යාත්‍රාව ආගමම විය.

ආගම නැමැති සංකල්පයේ හරය කුමක්දැයි විමසන්නේ නම් 'මනුෂ්‍යයා යහපත් කිරීම' යන වාක්‍ය ඛණ්ඩය සෑහේ ඕනෑම ආගමකටම. ආගම නැමැති සංකල්පය තුළින් කෙරෙන වෑයම එයය. එය සඵල වූ කළ ඒ සංකල්පය කල් ඉකුත් වේ. මනුෂ්‍යයාට පරිණාමනය වෙන්නට රුකුල් දුන් තවත් එක් සංකල්පයක් පමණක්ම වෙයි. ඒ සැතපුම් කණුව ඉක්මවූ කළ ආගමද, ඉදිරියට ප්‍රගුණ කරගෙන යාමෙන් පලක් නැති තවත් එක් හණමිටි සංකල්පයක්, අදහසක්ම පමණකි. එකලට ඒ සංකල්පය බිමින් තබා පරිණාමනයේ ඉදිරියට යා යුතුය. කිමද යත් ගොඩට ආ කල බෝට්ටුව කරපින්නා ගෙන යාමෙන් පලක් නැත.

ඒත්, තාමත් අපි ඒ බෝට්ටුවේම වෙමු.

No comments:

Post a Comment

දැනුණු දෙයක්., පහළින් කියන්න.