Wednesday, October 26, 2016

ලියන්නෙකුගේ අතීතය. කියවන්නෙකුගේ වැළපීම.

මොකද්දෝ උත්ප්‍රාසයකින් අමුතුම උනන්දුවක් එක්ක ලියන්නට පටන් ගැනීමකුත්,
මහා බරසාර කරල නොලිවීම සහේතුක කරන්නට දරාපු නිරර්ථක වෑයමකුත්,
යම්තාක් දුරකට හරි සාධාරණීකරණය කරන්න මම දවසක් තිස්සේ සෑහෙන ගේමක් දුන්න.

ලියන්නට නං නිමිත්තක් තියෙන්නට ඕන.
මගේ ජීවිතේ ඒ නිමිත්ත මට හුඟක් වෙලාවට ලැබුණේ විරහවත් එක්ක.
එහෙමත් නැත්නං පිස්සෙකුත් මාත් අතර තියෙන ඉර.,
බොඳ වෙලා තුනී වෙන තරමට.

ගතවුණු කාලෙ අත්දැකීම් ගොන්නට,
 විරහවත්,
 බොඳවුණු සංකල්පනාත්,
කොච්චර එකතු වුණත්,
 ඒ වේදනාවන්වත්,
 ඒ හිතුවිල්ලක්වත්,
වචන වලට පෙරලගන්න මට පුළුවන් කමක් තිබුණේ නෑ.

මං මට අකැප වී තිබුණ, මගෙන් ඈත් වී තිබුණ සරණ පුරුද්දක් මට මතක් වුණේ එතකොටයි.
කියවීම.
හොඳ පොතක් කියවන්නට ලැබෙන්නේ නැතිකොට,
හොඳ වචන මගේ ඔළුවේ පෙරලෙන්නේ නැතිකොට,
මං කොහෙන් මගේ හිතුවිලි වචන වලට පෙරලන්නද.

යමක් විග්‍රහ කරන්නත්, තවත් යමක විචාරයකටත්, නව කතාවක පදපේළි ගලපන්නටත්, සරල නිසදැසකට අකුරු කරන්නටත්,
මම යමක් කියවීමෙන්, යමක් දැනගැනීමෙන්, සම්පූර්ණ වෙන්න ඕන.
මට මගහැරුණු තැන එතන.

හොඳ පොතක් හොයාගැනිල්ල ලේසි නෑ මේ ජීවිතේ.
හොඳ පොතක් වගේම මාව පෝෂණය කරපු අපේම උන්ගේ බ්ලොග් එකක් දෙකක් කියවන්නය කියල පරණ යොමුසටහන් කීපයක් හොයාගෙන එකින් එකට ගිහින් බැලුවේ අද.
කිසිම ලිපියක් නැති ගානයි. කිසිම දෙයක්.
දේශපාලනයත් පරිඝණකයත් ගැන අරුණුකොට
හිතුවිල්ලක්, කතාවක් කියවන්න මං රහ කරලා තියං හිටි බ්ලොග් ඔහේ වල් වැදිලා ගිහිල්ල.

හුඟක් ඒවා අතැරලාම දාල.
එහෙමත් එකක අවුරුද්දකටම ලිපියක් දෙකක් ඇති.

අපි අපේ ජීවිත එක්ක එච්චරටම විඩාවට පත්වෙලා ගිහින්ද?
Is this what happened when you become an adult?
Is this how you do adultness?

හැමදාම ලිපියක් වැටෙනකන් බලා ඉඳල කියවන්න බ්ලොග් තිබුණ කාලෙ,
සතියක් හමාරක් හරි දඟලල කෙටුම්පතක් ලිපියක් කරල එළියට දාපු කාලෙ,
ඒ ලිපියේ කොමෙන්ටුවක් කොමෙන්ටුවක් ගානේ ආයේ ආයේ කියවපු කාලෙ,
විචාරයක විග්‍රහයක විතරක් නෙවෙයි මඩ ගහපු එකක වුණත් කොමෙන්ටු සීයක් හමාරක් තිබුණ කාලෙ,

මට ඒ අතීතය ආයේ ඕන.

No comments:

Post a Comment

දැනුණු දෙයක්., පහළින් කියන්න.