Thursday, August 15, 2019

වැඩ

මිනිස්සු වැඩ කරන්නේ නොකර බැරිකමටය. කරන්න දෙයක් නැති කමටය.

    ආසාවෙන් වැඩ කරන මිනිස්සු මම එහෙමට දැකලා නැත. තමුන් කරන දේ ගැන ආසාවකුත්, ඒක රස්සාවක් කරගන්නත් පුළුවන් විදියේ වැඩ තියෙනවා කියා මිනිස්සු කියති. ඒත් කිසිම දෙයක් නොකර නිකම් ඉන්නවාට වඩා ඒක හොඳ කොහොමදැයි මට තේරෙන්නේ නැත.

    සමහර මිනිස්සු වැඩක් නොකර නිකං ඉන්නවාට වඩා වැඩක් කරන එක හොඳ යැයි කියති. මට ඒ මිනිස්සු නොතේරේ. ඒ මිනිස්සුන්ගේ මානසික තත්වය වටහා ගන්න පටන් ගන්න හැටිවත් මට නොතේරේ. එහෙම දෙයක් වටහා ගැනීමද වැඩකි. මට එච්චර දෙයක්වත් කරන්නට උවමනාවක් නැත. එහෙම එකේ ඒ මිනිස්සු කොහොම ආසාවෙන් වැඩ කරනවාද යන්න මට තේරෙන්නේම නැත.

    වැඩ කරන්නේ සල්ලි හම්බ කරන්නය. ඒක මට තේරුම් ගත හැක. මම වැඩ කරන්නේත් ඒ නිසාය. සල්ලි නැතුව නිකං ඉන්න අමාරුය. නිකං හිටියා කියා නොකා නොබී හිටිය නොහැක. නිකං ඉන්න ගමන් තව කරන්න දේවල්ද තිබේ. එක එක ජාති ඕනය. නිකං ඉන්නකොට ඕන වෙන ජාතිද වැඩිය. ඒ නිසා මූලික අවශ්‍යතා නැතුව බැරිය.

    ඒත් මූලික අවශ්‍යතා සපිරෙද්දීත් වැඩ කරන්නට ඕන මිනිස්සු සිටිති. මම අසා ඇති හැටියට එහෙම මිනිස්සු සිටිති. නිකං ඉන්නවාට වඩා වැඩක් කිරීමට ඒ මිනිස්සු කැමති යැයි කියති. ඒ ඇයි කියා මට නොතේරේ.

    සමහරවිට ඒ මිනිස්සුන්ට මොකක් හරි වැඩක් තිබ්බා නං ඒ ප්‍රමාණවත් වන්නට පුළුවන. එහෙම නං තමුන්ට කැමති දෙයක් විනෝදාංශයක් විදියට කරගෙන ඉන්නට පුළුවන. ඒකද  වැඩකි. ඒත් රස්සාවක් නොවේය. සමහර මිනිස්සුන්ට එහෙම විනෝදාංශයක් කරගෙන ඉන්නට මනස වෙනස් කරගන්නට හැකිය. එහෙම මිනිස්සුද සිටිති. ඒත් සමහර මිනිස්සුන්ට එහෙම දෙයක් හොයාගැනීම අමාරුය. එහෙම මිනිස්සුන්ට තමුන් මහන්සිවී කැමති දෙයක් හොයාගන්නවාට වඩා හැමදාම කරන දේ කරගෙන ඉන්න එක පහසුය. එකම රටාවකට හුරු වී ඇති ජීවිතයක් වෙනස් කරන්නට දරන්නට වෙන මහන්සිය සුළුපටු නොවේ. එහෙම කරන්නට හිතන්නට ඕනය. හිතනවාට වඩා හැමදාම කරන එක කරගෙන යන එක පහසුය. ඒ නිසා වැඩ කිරීමත් එකමත් එක ගැලවිජ්ජාවකි.

    නිකං ඉන්නටද පුරුදු විය යුතුය. ඒකද ලේසි නැත. හොඳ නිකමෙක් වෙන්නටද ටිකක් මහන්සි විය යුතුය. නිකං ඉඳීම ප්‍රගුණ කළ යුතුය.

    දැන් බලද්දී මේක ලිව්වාට වඩා නිකං හිටියා නං හොඳය. මම තව මහන්සි විය යුතුය. නිකම්ම නිකං ඉඳ නිකමෙක් වෙන්නට බැරි බව මට වැටහුණේ දැන්ය.

No comments:

Post a Comment

දැනුණු දෙයක්., පහළින් කියන්න.