Thursday, June 21, 2012

පොළවේ පය නොගහපු විප්ලවවාදියා

“දේශමාමකයෙක් වගේ වැඩ කරපං. රට දෙකඩ කරන්න දෙන්නේ නැතුව රටේ ස්වෛරීභාවය රැකගනින්. වීදේශ කුමන්ත්‍රණ වලට රැවටෙන එකම විතරයි මේ ආණ්ඩුවෙන් වෙන්නේ. වෙන එක හොඳක් කියපල්ලා බලන්න මුන් කරපු. රටම අගාධයට ගිහිං. ජනතාව එහෙං ජීවන බරෙන් මිරිකිලා ගිහින්. මුළු මහත් යුරෝපීය  හැතිකරයටම අපේ රට ණය වෙලා. හැම මිනිහෙක්ම ණය බරින් මිරිකිලා ගිහින්. මේක දැන් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙවෙයි තවත්. තවත් එක සුද්දන්ගේ ධනේශ්වරවාදයේ අතකොළුවක් වෙච්ච රටක් වෙලා. අපේ රටේ නිර්ධන පන්තිය ඕක තේරුම් ගන්නේ නෑ. තේරුම් ගත්තත් ඔලුව පහත් කරන් කරබාගෙන ඉන්නවා. ඇයි ඒ? ප්‍රතිගාමීන්ට බය වෙලා. පූර්ව සමාජවාදය මුළුමනින්ම අතුගෑවිලා ගිහින් මේ රටෙන්. සමාජ විප්ලවවාදීන් මුළුගැන්නිලා. අත්‍යන්තයෙන්ම සමාජ විප්ලවවාදීන් උන මිනිස්සු රටේ විධායක පන්තිය විසින් යට කරලා. එහෙමත් නැත්නම් ඊනියා විප්ලවාදීන් විසින්ම යට කරගෙන. ලාංකේය වාමාංශික ව්‍යාපාරය, සුළු ධනපති චිත්ත ස්වභාවය උඩ ජීවත් වෙන වැඩවසම් ක්‍රමයට හැඩගැහෙන්න හදන නිහීන පන්තියක් විසින් යට කරලා දාන්න හදනවා.
ඒත් තාමත් මේ රටේ ඉන්නවා දේශමාමකත්වය ඔඩුදුවන නිකැළැල් වාමාංශිකයෝ. රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය පාවාදෙන්න අපි සූදානම් නෑ. ජීවිත පරදුවට තියලා උනත් ආයෙත් මේ රටේ සමාජවාදයේ න්‍යායාත්මක චින්තනයක් ගොඩනගන්න සූදානම් විප්ලවවාදීන් රැසක් ඉන්නව. ඒක කරලියට ගේන්න වතාවකුත් අපි කැපවුණා. ආයෙත් වතාවක් නිර්ධන පන්තියට පණපොවල ඒ උතුම් කාර්ය කරන්න අපි සූදානම්. මේ රට සංවර්ධනයට යොමු කරන්න තියෙන එකම මාර්ගය ඒක. දුෂ්කර උනත් ඒ මාර්ගයේ අදාළ ක්‍රම වල අපි පියනගන්න සූදානම් වෙන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදයයි සමාජවාදයයි ගිලිහිලා යන්න හදන මේ රට ආයෙත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක් කරන්නයි අවශ්‍යය. නැතුව තවත් ධනේශ්වරවාදී ගැත්තෙක් වෙන්න ඉඩ ඇරලා බලං ඉන්න එ‍ක නෙවෙයි. මේ රට ජාත්‍යන්තරය ඇතුලේ එහාට මෙහාට විසිවෙන අතකොළුවක් වෙන්න නොදී අපේ රටේ ස්ව්වෛරීත්වය රැකගන්නයි ඕන.
ඒක කරන්න ඕන අපියි සහෝදරයා. ඒක කරන්න පුළුවනුත් අපිට විතරයි සහෝදරයා. අන්න ඒක තේරුම් ගන්න.”

- අඩියටම හිස් වුන වීදුරුව ටිකක් බරට කනප්පුව උඩින් තියපු විමල් හිටගත්තා.
“හ්ම්ම්…”
— “වාඩිවෙයං #$%&%”
විසිවෙලා ගියපු අඩිය බිඳුන ගල් බෝතලේ රතු ලේ පාරක් හිටල තිබුණ.

No comments:

Post a Comment

දැනුණු දෙයක්., පහළින් කියන්න.